නීතිවිරෝධී සංක්‍රමණ වළක්වන සිව්වන “Zero Chance” සිසු ඇගයීම් උළෙල
නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහි Zero Chance සිව්වන වාර්ෂික කලා සහ රචනා තරගාවලියේ සම්මාන ප්රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී (BMICH) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලාංකීය සිසුන්ගේ නිර්මාණශීලී දක්ෂතා ඇගයීමට ලක් කරමින් සංවිධානය වූ මෙම උත්සවයේ ප්‍රධානතම අරමුණ වූයේ, නීතිවිරෝධී ලෙස බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීම අතිශය අවදානම් සහගත මෙන්ම අනුවණ ක්‍රියාවක් බව සමාජගත කිරීමයි.
ඕස්ට්‍රේලියානු රජය සහ මෙරට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි. Ditwah සුළි කුණාටුව හේතුවෙන් එල්ල වූ අභියෝග මධ්‍යයේ වුව ද, දිස්ත්‍රික්ක 19ක පාසල් 42ක් නියෝජනය කරමින් සිසුන් විශාල පිරිසක් මීට දායක වී සිටිය හ. ඒ අනුව කලා නිර්මාණ 1,036ක් සහ රචනා 1,229ක් ඇතුළුව සමස්ත අයදුම්පත් 2,265ක් තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබුණි. එහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සිසුන් 164 දෙනෙකු මුල් ස්ථාන තුන සඳහා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, සිසුන් 55 දෙනෙකු සිව්වන සහ පස්වන ස්ථාන සඳහා සහතික පත් දිනා ගත් හ.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා නියෝජනය කරමින්, වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස් ශාරිණි මැක්ඊවන් මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූවා ය.
සිසුන් දැක්වූ කැපවීම සහ උනන්දුව අගය කරමින් ඇය මෙසේ ප්‍රකාශ කළා ය. “නීතිවිරෝධී මුහුදු ගමන් නිසා සිදුවන ජීවිත සහ දේපළ හානිවලින් මෙරට අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා, සමාජයට ඉතා වැදගත් පණිවිඩයක් සන්නිවේදනය කිරීමට ඔබ සැම විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ඉදිරි අනාගතයේදී ඔබට මුහුණ දීමට සිදුවන ඕනෑම අභියෝගයක්, ඔබේ දක්ෂතා පෙන්වීමට ලැබෙන අවස්ථාවක් කරගන්න. මෙම තරගාවලියේදී ඔබ දැක්වූ දක්ෂතා, ඕනෑම අසීරු තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට ඔබට ඇති හැකියාව මනාව පිළිඹිබු කරනවා.”
තරගාවලිය සඳහා ඉදිරිපත් වූ නිර්මාණ නිරීක්ෂණය කළ මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සිය ප්‍රසාදය පළ කරමින් කියා සිටියේ, “මෙම තරුණ දරු දැරියන් සතු නිර්මාණශීලීත්වය, තීක්ෂණ බුද්ධිය සහ අවංකභාවය සැබවින්ම අගය කළ යුතුයි. ඔවුන් තමන්ගේ වයසට වඩා පරිණතභාවයකින් යුතුව සාමකාමී සහජීවනය වෙනුවෙන් පෙනී සිටින අතරම, නීතිවිරෝධී සංක්‍රමණවල ඇති භයානකකම පිළිබඳව සමාජය දැනුවත් කිරීමට ඉතා ප්‍රශංසනීය උත්සාහයක නිරත වී තිබෙනවා” යනුවෙනි.
පොදු මහජනතාවගේ ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්රය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම වැඩපිළිවෙළ මහෝපකාරී වේ. මේ පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා “දෙරට අතර පවතින නීත්‍යානුකූල සංක්‍රමණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සාධාරණ වුවත්, නීතිවිරෝධී සංක්‍රමණ සඳහා උත්සාහ කිරීම, ඊට අනුබල දීම හෝ දිරිගැන්වීම රටට මෙන්ම පුද්ගල ජීවිතවලට දැඩි හානියක් ගෙන දෙනවා.” ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ශක්තිමත් සබඳතාව සුරක්ෂිත කිරීමටත්, ජීවිත හා දේපළ අවදානම අවම කිරීමටත් මෙවැනි ඒකාබද්ධ සමාජ සන්නිවේදන වැඩසටහන් සාර්ථක වීම සතුටට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.
මෙම තරගාවලියේ ජයග්‍රාහකයින් තෝරා පත් කරගනු ලැබුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂඥ විනිශ්චය මණ්ඩලයක් විසිනි. ජයග්‍රාහී සිසුන් වෙත සහතික පත්රවලට අමතරව, ඔවුන්ගේ කලාත්මක සහ විශ්ලේෂණාත්මක කුසලතා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා විශේෂ ශිෂ්‍යත්ව ද ප්රදානය කිරීමට නියමිත ය.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ වැදගත් සන්ධිස්ථානයක් වන ‘Zero Chance’ වැඩසටහන, නීතිවිරෝධී සංක්‍රමණවල ඇති අවදානම පිළිබඳව තරුණ පරපුර අතර අත්‍යවශ්‍ය කතිකාවතක් ගොඩනැගීමට නිරන්තරයෙන්ම දායක වේ.
ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා www.australia.gov.au/zerochance වෙබ් අඩවියට පිවිසිය හැක.








Post Comment