‘Made in Sri Lanka’ ලේබලය යටතේ නව Switchgear නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් Polycrome සන්නාමය සිය දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය පුළුල් කරයි

වසර 45කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ සිය අනන්‍යතාව සනිටුහන් කර ඇති Polycrome සන්නාමය, ‘Made in Sri Lanka’ ලේබලය යටතේ නව ස්විච්ගියර් (Switchgear) නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙය සිය නිෂ්පාදන පෙළ පුළුල් කිරීමේ මෙන්ම දේශීය නිෂ්පාදනය සහ ගුණාත්මක විදුලි උපකරණ විසඳුම් සඳහා වන සමාගමේ කැපවීම තවදුරටත් තහවුරු කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන සුවිශේෂී පියවරකි.

දේශීය නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනයට දායක වෙමින්, ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට උසස් තත්ත්වයේ විදුලි උපකරණ විසඳුම් ලබා දීමට Polycrome ආයතනය ගෙන යන ගමන් මඟේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නව නිෂ්පාදන පෙළ හඳුන්වා දීම හැඳින්විය හැකිය. 2026 ඔක්තෝබර් 16 වන දින කොළඹ ITC රත්නදීප හෝටලයේ දී පැවති Polycrome Achievers’ Night 2026 උත්සවයේ දී සමාගමේ අලෙවි සහ බෙදාහැරීමේ ජාලයේ ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීමට සමගාමීව මෙම නව නිෂ්පාදන පෙළ එළිදැක්වීම ද සිදු කෙරිණි.

පසුගිය වසර 45ක ගමන්මග තුළ, ශ්‍රී ලංකාවේ විදුලි ස්ථාපන සහ යටිතල පහසුකම් අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කරන ලද විවිධ නිෂ්පාදන පෙළක් හරහා මෙරට විදුලි උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ශක්තිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීමට Polycrome සමත්ව සිටී. ස්විච් සහ සොකට්, BLDC සිවිලිං විදුලි පංකා, විදුලි බල්බ (Lighting), විදුලි උපාංග සහ කේබල් කළමනාකරණ පද්ධති (Cable management systems) යනාදිය එම නිෂ්පාදන පෙළට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්ලාස්ටික් Enclosure box හඳුන්වා දීමට අමතරව, සාම්ප්‍රදායික ලී පෙට්ටි වෙනුවට දිගුකල් පවතින ප්ලාස්ටික් ස්විච් සහ සොකට් සවිකිරීමේ පෙට්ටි (Mounting box) හඳුන්වා දෙමින් දේශීය කර්මාන්තයට සුවිශේෂී දායකත්වයක් ලබා දීමට ද Polycrome කටයුතු කරනු ලබයි. දේශීයව සැලසුම් කර නිෂ්පාදනය කරන ලද මෙම නිෂ්පාදන තුළින් නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ දේශීය විදුලි විසඳුම් කෙරෙහි සමාගම දක්වන දිගුකාලීන අවධානය මනාව පිළිබිඹු වේ. එසේම දැනටමත් ස්ථාපිත වී ඇති එම නිෂ්පාදන පෙළ තවදුරටත් ශක්තිමත් කරමින් හඳුන්වා දුන් නව Switchgear කාණ්ඩය, සිය විදුලි උපකරණ පෙළ පුළුල් කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට Polycrome ආයතනය ගන්නා උත්සාහයේ ඉදිරි පියවරකි.

Polycrome සන්නාමයේ වර්ධනය සඳහා නොසැලෙන කැපවීමකින් සහ සහයෝගයකින් කටයුතු කළ ප්‍රමුඛ පෙළේ බෙදාහරින්නන්, අලෙවි විධායක නිලධාරීන් සහ ප්‍රාදේශීය අලෙවි කළමනාකරුවන්ගේ කාර්යසාධනය සහ දායකත්වය මෙම උත්සවයේ දී ඇගයීමට ලක් විය. එමෙන්ම, වෙළෙඳපොළ තුළ Polycrome සන්නාමයේ දිගුකාලීන පැවැත්මට දායක වූ ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ඇගයීමටත්, මෙම නවතම ජයග්‍රහණය පිටුපස ඇති සාමූහික ප්‍රයත්නයන් සැමරීමටත් මෙම හමුව සුවිශේෂී අවස්ථාවක් විය.

ඒ අනුව, දේශීය නිෂ්පාදනය, නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින්, සිය ස්ථාපිත කීර්තිනාමය තවදුරටත් ඉදිරියට ගෙන යාමටත්, නව Switchgear නිෂ්පාදන පෙළ හඳුන්වා දීම හරහා ශ්‍රී ලංකාවේ විදුලි උපකරණ විසඳුම් ක්ෂේත්‍රයට ලබා දෙන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත් Polycrome සන්නමය අපේක්ෂා කරනු ලබයි.

END.

Post Comment