ශ්‍රී ලංකාවේ ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර නිෂ්පාදනාගාරය – හේලීස් ඇග්රිකල්ච වෙතින්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ නව මාවතක් සලකුණු කරමින්, හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් සිය අනුබද්ධිත සමාගමක් වන Hayleys Nature Nest (Pvt) Ltd හරහා මෙරට ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර (Frozen Concentrated Coconut Water) නිෂ්පාදනාගාරය පසුගියදා විවෘත කළේය.
ශ්‍රී ලංකාවේ සරුසාර කෘෂිකාර්මික අස්වැන්නට ඉහළ අගයක් එක් කරන නිෂ්පාදන බිහිකිරීමේ දැක්ම පෙරදැරි කරගනිමින් ස්ථාපිත කර ඇති මෙම නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත නිෂ්පාදනාගාරය, දේශීයව ලබාගන්නා පොල් වතුර ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන උසස් තත්ත්වයේ ශීත කළ සාන්ද්‍රිත නිෂ්පාදනයක් බවට පත් කරයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා අපනයන ක්ෂේත්රයට නව වටිනාකමක් එක් කිරීමට මෙම ව්‍යාපෘතිය සමත් වේ.

සමාගමේ ගෝලීය වෙළෙඳපොළ පියසටහන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට අමතරව, මෙම ආයෝජනය හරහා දේශීය පොල් වගාකරුවන් මෙන්ම ග්‍රාමීය ප්‍රජාවන් සවිබලගැන්වීමට ද හැකියාව ලැබේ. එමෙන්ම, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ අපනයන ආදායම ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ දීර්ඝකාලීන වර්ධනයට සක්‍රීය දායකත්වයක් ලබාදීමටත් මෙම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇත.
“ලෝකයටම ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින්, සියලුම පාර්ශ්වකරුවන්ට ඉහළ වටිනාකමක් ගෙනදෙන තිරසාර සහ උසස් තත්ත්වයේ කෘෂිකාර්මික විසඳුම් ලබාදීමට අප සැමවිටම කැපවී සිටිනවා,” යැයි හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නව ආයෝජනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනවල ගෝලීය තරඟකාරීත්වය ඉහළ නැංවීමේ තවත් වැදගත් පියවරක් වන අතර, අගය එකතු කළ කෘෂිකාර්මික අපනයන ක්ෂේත්රයේ නව අවස්ථා රැසක් උදා කරනු ඇත.








Post Comment