ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන නිපොන් පරිත්‍යාග පදනම, සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නංවාලීම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති දියත් කරයි. ආරම්භයේ සිට ම ලෝක  සාමය තහවුරු කිරීම අරමුණු කරගත් එම පදනම ජපානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලැබුවේ එහි නිර්මාතෘ සහ සභාපති යූමා මුරනුෂි මහතා විසිනි. අති දක්ෂ ව්‍යවසායකයෙකු වන මුරනුෂි මහතා වයස අවුරුදු 19 දී ජපානයේ ඔසාකා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටිය දී ආයෝජනය කිරීම ආරම්භ කළේය. ඉන් පසු වයස අවුරුදු 24 දී  පෞද්ගලික අරමුදලක් පිහිටුවා මූල්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ඇතුළු වූ ඔහු දේශීය හා විදේශීය අරමුදල් කළමනාකරණය කරමින් ව්‍යාපාර මිල දී ගැනීම අඛණ්ඩව සිදුකළේය.

නිපොන් පරිත්‍යාග පදනමේ ජාතික අධ්‍යක්ෂ ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ ආරාධනයකට අනුව මුරනුෂි මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, මින් පෙර ඔහු මෙරට ජාතික රෝහලට රුපියල් කෝටියක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමට ද කටයුතු කළේය. එමෙන් ම  මුරනුෂි මහතා, මෙම අභියෝගාත්මක කාල වකවානුවේ දී  ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා විසින් අඛණ්ඩව  සිදුකරනු ලබන සමාජ  සේවා වැඩසටහන් සහ පරිත්‍යාගයන් සඳහා අනුග්‍රහය ලබා දීම ද සිදුකරයි. මුරනුෂි මහතා මෙවර මෙරටට පැමිණ සිටින්නේ දිගුකාලීන පදනමක් මත පරිත්‍යාග හා සෘජු විදේශ ආයෝජන සිදු කිරීම හරහා ශ්‍රී ලංකාව තුළ සිදු කරන සිය වාණිජ සහ සමාජ සත්කාරක වැඩසටහන් පුළුල් කිරීමේ අරමුණිනි.

යූමා මුරනුෂි මහතා සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ආචාර්ය රුවන් පෙරේරා  ශ්‍රී ලංකාවට පැමිණීමට මට ආරාධනා කිරීම ඇත්තටම ගෞරවයක්. මේ රට අසීමිත විදියට දියුණු කළ හැකි රටක් විදියට මම දකිනවා. වර්තමානයේ දී පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට මේ රටේ ජනතාවට හැකි උපරිමයෙන් සහයෝගය ලබා දීමට කටයුතු කරන බව මා අවධාරණය කරනවා. මෙම අභියෝගාත්මක කාලවල දී රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ රොෂාන් මහානාම මහතාට සහයෝගය ලබා දීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත් වෙනවා.”

ආචාර්ය රුවන් පෙරේරා, ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, Sony සමාගමේ වසර 20කට අධික කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවෙකි.  ඒ මහතා සිය නමින් ගෝලීය පේටන්ට් බලපත්‍ර 3ක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සහ ජපානය අතර වාණිජ හා වාණිජ නොවන ද්විපාර්ශ්වික සබඳතා ගොඩනැංවීම වෙනුවෙන් ප්‍රශංසනීය කාර්‍යභාරයක් ඉටු කරයි. ආචාර්ය පෙරේරා  මෙරට ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික වත්කම් සහිත සමාගමක සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර, ඒ මහතා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රථම සංචාරක හෝටලය ඉදිකිරීම සඳහා සිදුකර ඇති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 25 කි.

නිපොන් පරිත්‍යාග පදනම විසින් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිදුකරනු ලබන පරිත්‍යාග හා දියත් කරනු ලබන  විවිධ  වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කරන අතර, ශ්‍රී ලංකාවේ ලාභදායී ව්‍යාපෘති සඳහා ජපාන ආයෝජකයින් සම්බන්ධ කිරීම ද අඛණ්ඩව කටයුතු කරන බව තහවුරු කර ඇත. එමෙන් ම පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට  ශ්‍රී ලංකා රජයට හා ජනතාවට සහයෝගය දක්වමින්, ඉදිරි මාස කිහිපය තුළ ජපාන නියෝජිත ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ආචාර්ය පෙරේරා කටයුතු සම්පාදනය කර ඇති අතර, ජපාන වෙළෙඳපොළ වෙත පිවිසීමට කැමැත්තක් දක්වන දේශීය අපනයනකරුවන්ට ඒ සඳහා පහසුකම් සැලසීමට ද ඒ මහතා කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *