කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලිමිටඩ් (CCBSL), ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්,  2022 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදි. මෙහි පළමු වැඩසටහන CCBSL හි විකුණුම් සහ වාණිජ අධ්‍යක්ෂ ශමාල් ගුණවර්ධන විසින් මෙහෙය වූ ‘Breaking the Bias’ පිළිබඳ ප්‍රායෝගික සැසියකින් සහ කළමනාකාර අධ්‍යක්ෂ මයන්ක් අරෝරාගේ විශේෂ දේශනයක් ඇතුළු විවිධ ක්‍රියාකාරකම්වලින් සමන්විත වූ ගෘහස්ත වැඩසටහනක් ලෙස පැවැත්විණි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පටු මතවලින් බැහැරව, ඉන් ඔබ්බට ඒ පිළිබඳව සළකා බැලීමේ වැදගත්කම සහ ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශවයටම එක හා සමාන හැකියාවන් ඇති බවත්,  ස්ත්‍රී – පුරුෂ බව පදනම් කර ගනිමින් කිසිවෙකු කිසිදු රැකියා ක්ෂේත්‍රයකට සීමා නොවිය යුතු බවත් මෙම සැසි දෙකෙහිදීම අවධාරණය කරන ලදි. විශේෂයෙන්ම රැකියාවේ දී සෑම කෙනෙකුටම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, වගකීමක් ලබා දීමෙන් නිවස ඇතුළුව සෑම අවස්ථාවකදීම වගකීම් බෙදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ ‘Break the Bias’ සංකල්පය මූර්තිමත් කළ කීර්තිමත් කාන්තා පෞරුෂයන් සමඟින් සිදු කළ  බුද්ධිමය විද්වත් සාකච්ඡාව 2022 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේ විශේෂත්වය විය. සාකච්ජාව සඳහා හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය, ළමා හා කාන්තා අපයෝජන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණසිංහ මහත්මිය සහ වසර 40කට වැඩි කාලයක් කොකාකෝලා බෙදාහරින්නා වූ එලිසබෙත් පෙරේරා මහත්මිය ඇතුළත් විය. මේ සෑම සාමාජිකයෙක්ම විවිධ පසුබිම්වලින් යුත් සහ වටිනා ජීවිත අත්දැකීම්වලින් යුක්ත වූවන් වන අතර ඔවුන් තම වෘත්තීය ජීවිතයේ දී මුහුණ දුන් බාධක හා අභියෝග සහ ඔවුන්ගේ පවුල් ජීවිතය ද සමබර කර ගනිමින් ඒවා ජයගත් ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදි.

අරුණි ගුණතිලක මහත්මිය, සිය ආයතනික ගමන් මඟෙහි ඉහළට ගමන් කිරීමේ දී ලබා ගත් අත්දැකීම් බෙදා ගනිමින්,  කාන්තා නායිකාවක් ලෙස මිනිසුන් තමාට සැළකූ ආකාරය සහ තම අරමුණු දිනා ගැනීම වෙනුවෙන් ඇය, ඇයවම දිරිමත් කළ  අයුරු පැහැදිලි කළාය. මේ අතර, කාන්තාවන් සඳහා සාම්ප්‍රදායික නොවන වෘත්තීන් ලෙස සැළකෙන දේ පිළිබඳ රණසිංහ මහත්මිය සහ එලිසබෙත් පෙරේරා මහත්මිය  ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගත්හCCBSL හි මානව සම්පත් අධ්‍යක්ෂ, ප්‍රියන්ත රණසිංහ මහතා සැමරුම් උත්සවය පිළිබඳව අදහස් දක්වමින්, “ජාත්‍යන්තර කාන්තා දිනයේදී කාන්තාවන් සවිබල ගැන්වීමට, දිරිමත් කිරීමට සහ කාන්තාවන් සැමරීමට සමස්ත ආයතනයම එකතු වීම දැකීම සතුටට කාරණයක්. ජිවීතයේ මුහුණ දුන් බාධක බිඳ දමමින් වෘත්තීය ජිවීතයේ උසස්ම ස්ථානයට පැමිණීමත්, සමානාත්මතාවය සහ රැකියා ජීවිතයේ සමබරතාවය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමත් සමඟින් දිරි ගන්වන අදහස් හා අත්දැකීම් බෙදා ගැනීම පිළිබඳව මම අපගේ ගෞරවනීය සාකච්ජා මණ්ඩලයට   ස්තූතිවන්ත වෙනවා” යැයි සිය අදහස් දක්වා සිටියේය.

දේශීය ප්‍රජාව තුළ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම

CCBSL ආයතනය බියගම ප්‍රදේශයේ රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවයෙන් 2022 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්  කාන්තා ව්‍යවසායකයින් 30 දෙනෙකු නඟා සිටුවීමේ වැඩසටහනක් පවත්වයි. මෙම වැඩසටහන,   ශ්‍රී ලංකා කොමර්ෂල් බැංකුවේ විධායක නිලධාරී සම්පත් කුමාර මහතා විසින් බැංකුකරණය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ සැසියකින් ද, කුඩා පරිමාණ ව්‍යාපාරයක් වන සශී ලූම්ස් හි හිමිකාරිය වන ටිලනි  ජයසිංහ මහත්මියගේ අභිප්‍රේරණ සැසියකින් ද සමන්විත විය.

අදාළ රජයේ කාර්යාලවලින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී සහය ලබා ගත හැකි ආකාරය පිළිබඳ දේශනය බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී රෝහණ කරුණාරත්න මහතා විසින් මෙම සැසියට සමගාමීව පවත්වන ලදි.

බියගම ප්‍රාදේශීය ලේකම්, චන්දිමා සූරියාරච්චි මහත්මිය, වැඩසටහන අමතමින්, 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් දේශීය ප්‍රජාවේ කාන්තාවන් හට උපකාර කිරීම වෙනුවෙන් CCBSL වෙත සිය කෘතවේදීත්වය පළ කර සිටියාය. “විශේෂයෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනයේ දී කොකාකෝලා ශ්‍රී ලංකා වැනි සමාගමක් දේශීය ප්‍රජාව තුළ සිටින කාන්තාවන් සවිබල ගැන්වීමට පියවර ගැනීමත්, බාධක බිඳ දැමීමට කාන්තාවන් දිරිමත් කිරීමත් ඉතාමත් අනර්ගයි. මෙම සාකච්ජාව හා සම්බන්ධ වූ විද්වත් මණ්ඩලය විසින් වැඩසටහනට සහභාහගී වූවන් හට ඉතා වැදගත් දිරි ගැන්වීම් සහ ප්‍රායෝගික ක්‍රමෝපායයන්   ඉදිරිපත් කළා. බියගම  CCBSL  පිහිටුවීම අපගේ භාග්‍යයක් වන අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන් සැමරීම සහ සවිබල ගැන්වීම සඳහා ඔවුන් ගන්නා ප්‍රයන්තයන් වෙනුවෙන් ඔවුනට ස්තූතියත්, ප්‍රශංසාවත් සිදු කිරීමට කැමතියි, එසේම ඉදිරියේ අනාගතයේ දී මෙවන් වැඩසටහන් සිදුවනු දැකීමට බලාපොරොත්තු වෙමි. “ යනුවෙන් ප්‍රකාශ කළාය.

වැලිගම කාන්තාවන් සඳහා PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ දැනුවත් කිරීම.

CCBSL දිගුකාලීන ප්‍රතිචක්‍රීකරණ සහකරු Eco Spindles සහ ප්‍රාදේශීය ප්‍රජා සංවිධානයක් වන ‘සෝභාකාන්තා’ සමඟ  එක්ව වැලිගම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි. PET ප්ලාස්ටික්වල වටිනාකම සහ ප්ලාස්ටික් එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණයේ පවතින ව්‍යවසායක අවස්ථාවන් පිළිබඳව වැලිගම ප්‍රදේශයේ කාන්තාවන් 100කට වැඩි ප්‍රමාණයක් අතර දැනුවත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. මෙම අවස්ථාවට කාන්තා කටයුතු භාර නිලධාරිනිය, ප්‍රාදේශීය ලේකම්, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රාදේශීය කළමණාකාරතුමිය ඇතුළු වැලිගම පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ සහභාගී වූ අතර CCBSL විසින් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම,  PET ප්ලාස්ටික්වල වටිනාකම පිළිබඳව දැනුවත් කිරීම සහ වගකීමෙන් යුතුව PET  බැහැර කිරීම යන අංශ දෙකෙන්ම ඔවුන් දරන උත්සාහය අගය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *