ICTA සමඟින් විවිධ හවුල්කාර පාර්ශවයන් රැසක් එකට එක්ව, තාක්ෂණික ක්ෂේත්රයේ ව්යවසායකයන් නිර්මාණය උදෙසා ක්රියාත්මක කරන ජාතික තලයේ ව්යාපෘතියක  ආරම්භය.

ශ්‍රී ලංකාව තුළ වූ  ආරම්භක ව්‍යාපාර සංවර්ධනය සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දෙන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින්,  ඔවුන්ගේ නවතම තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ ව්‍යාපෘතිය “10,000 IDEAS” මැයෙන් පසුගියදා දියත් කරන ලදී.  විවිධ හවුල්කාර පාර්ශව රැසකගේ සහයෝගය ඇතුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අනාගත ලොව වෙත දක්ෂ සහ නිපුණතා තුළින් සන්නද්ධ තාක්ෂණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන්ම ගෝලීය වෙළඳ පොළ ජයගත හැකි නව්‍ය අදහස් ඇති තාක්ෂණික ව්‍යවසායකයින් මේ හරහා සංවර්ධනය කරයි. ඒ තුළින් 2024 වර්ෂය වන විට, තාක්ෂණික ආරම්භක ව්‍යාපාර 1000ක් නිර්මාණය උදෙසා වූ ICTA හි දැක්ම සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වේ. 

මෙම වැඩසටහන හරහා පාසල් ශිෂ්‍යයින්, තරුණ තරුණියන්, ඇතුළු ඕනෑම වයස් කාණ්ඩයක අයකු සතු  සුවිශේෂී නව්‍ය ව්‍යාපාර අදහස් හඳුනා ගනිමින් ඔවුන්ගේ ව්‍යවසායක සිහින සාක්ෂාත් කරගැනීම උදෙසා වූ අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දේ.  විශේෂයෙන්ම,  සිය නවෝත්පාදන අදහස් සාර්ථක ව්‍යාපාර සැළැස්මක්  බවට පත් කරගත හැකිවන අයුරින් අදාළ ව්‍යාපාර සැළසුම් ගොඩනැංවීම උදෙසා “10,000 IDEAS” ව්‍යාපෘතිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. මේ අනුව නව්‍ය අදහස් ඇති තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන අයුරින් හඳුනා ගැනීමට “10,000 IDEAS” ව්‍යාපෘතිය බලාපොරොත්තු වන අතර, ඔවුන්ට ව්‍යාපාර සැලසුම් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පූර්ණ මාර්ගෝපදේශනය, පුහුණුව, ආයෝජන ලබාදීම ඇතුළුව විවිධ සහයෝගයන් ලබාදීම සඳහා ICTA අදාල ක්ෂේත්‍ර හවුල්කරුවන් සමඟ සම්බන්ධ කරනු ඇත.

මෙම ජාතික තලයේ වැඩසටහන පිළිබඳ සිය අදහස් දක්වමින් ICTA හි ප්‍රධාන ඩිජිටල් ආර්ථික  නිලධාරී අනුර ද අල්විස් මහතා මෙසේ පවසයි. “ICTA ආයතනය දේශීය ව්‍යවසායකයින් සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකරමින් සිටිනවා.  විශේෂයෙන්ම ගෝලීය අභියෝග සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කළහැකි තාක්ෂණික නවොත්පාදකයින් නිර්මාණය කිරීම උදෙසා, ICTA විශාල අවධානයක් යොමු කරමින් ක්‍රියා කරනවා. එම ගමන් මඟෙහි තවත් එක් සාර්ථක පියවරක ආරම්භයක් ලෙස මෙම “10,000 IDEAS” ව්‍යාපෘතියේ ආරම්භය හඳුන්වන්න මා කැමතියි. තාක්ෂණික ක්ෂේත්‍රයේ නවොත්පාදකයින් සහ ව්‍යවසායකයින් හට අනාගත ලොව ජයගැනීම සඳහා විශාල අවස්ථා රැසක් පවතිනවා, අපට අවශ්‍ය අපගේ හවුල්කරුවන් සමඟ එක්වෙමින්, මෙම වැඩසටහන හරහා මොවුනට සාර්ථක ව්‍යවසායකයින් වීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට.  “10,000 IDEAS” හරහා තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට සිය ව්‍යවසායක සිහින මෙන්ම රටේ ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විශාල සහයෝගයක් ලැබෙන බව අපට විශ්වාසයි.”

කුඩා කල සිටම දරුවන් තුළ නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව අදහස් දිරිගැන්වීම සඳහා “10,000 IDEAS”ව්‍යාපෘතිය විශාල පිටුවහලක් වනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංවර්ධනය කටයුතු සඳහා අවශ්‍ය ආධාරක ව්‍යුහයක් “10,000 IDEAS” තුළින් ගොඩනැගෙන අතර, ඒ හරහා ව්‍යවසායකයින්ට සිය අදහස් ව්‍යාපාර බවට පත්කරගැනීමට විශාල අත්වැලක් හිමිවනු ඇත.

“විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ (IEEE) ශ්‍රී ලංකා මධ්‍යස්ථාන 20ක ජාලය හා එක්වෙමින්, අප විසින් Hackathons සහ ජාතික තලයේ වැඩසටහන් වන IEEE Innovation Nation Sri Lanka වැනි නවෝත්පාදන අදහස් සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර කරා. එම අත්දැකීම් තුළින් අපට පැහැදිළිවම ගම්‍ය වූයේ මෙම ව්‍යවසායකයින් හට ඔවුන්ගේ අදහස් ව්‍යාපාර බවට පරිවර්තනය කිරීම සඳහා විශාල මාර්ගෝපදේශනයක් අවශ්‍ය බව “10,000 IDEAS” තුළින් සිදුවන්නේ මෙම සහයෝගය ලබාදීම තුළින් ඔවුන්ව ජයග්‍රහණය කරා රැගෙන යාම.” 

“අදහසක් තිබීම සහ නිෂ්පාදනයක්/සේවාවක් දක්වා එය ගොඩනැගීම අතර ඇති හිදැස පුරවමින්, “10,000 IDEAS” ව්‍යාපෘතිය අනාගත ව්‍යවසායකයින් නිර්මාණය හා සංවර්ධනය උදෙසා ඉහළ කාර්යභාරයක් සිදුකරනු ඇත. මෙවන් ජාතික තලයේ ව්‍යාපෘතියක් හා සම්බන්ධ වෙමින්, රටේ අනාගතය ගොඩ නැගීමට දායකත්වය ලබා දීමට හැකියාව හිමිවීම ගැන අප සතුටට පත් වනවා.”   IEEE ශ්‍රී ලංකා අංශයේ, ශිෂ්‍ය  ක්‍රියාකාරකම් සභාපති ධම්මික මාරසිංහ මහතා පවසයි

“තාක්ෂණය හා සම්බන්ධ වෙමින් ගෝලීය ගැටලු සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කිරීමට, “10,000 IDEAS” විශිෂ්ට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.  විධිමත් මාර්ගෝපදේශනයක් තුළින් විශිෂ්ට ව්‍යාපාර බිහිකිරීම උදෙසා වූ “10,000 IDEAS”, අනාගතයේදී රටේ ආර්ථිකය වෙත විශාල ප්‍රමාණයේ ව්‍යාපාර රැසක් බිහිකරනු ඇති බව විශ්වාසයි.  මේ තුළින් නිර්මාණය වන රැකියා අවස්ථාවන්, බොහෝ පිරිසකගේ ජීවනාලිය වන අතරම,  ඉන් නිර්මාණය වන ආර්ථික වාසි ලොව අනෙකුත් රටවල් අතර, ශ්‍රී ලංකාව කැපී පෙනෙන ස්ථානයකට රැගෙන ඒමට ඉහළ දායකත්වයක් සපයනවා.” Yarl IT Hub – Yarl Geek Challenge සංවිධායක  අබර්නා කිරුපානන්ද මහත්මිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *