මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මහඔය  ප්‍රදේශයේ ඉඩම් ගැටලුව හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවට වාර්තා වන කිරි ගොවීන්ට සහයෝගය ලබා දීමට පෙරමුණ ගෙන සිටි. ඒ අනුව ගොවීන්ගේ  පවුල් පෝෂණය කිරීම, ගවයන් ආරක්ෂා කිරීම සහ ආර්ථිකය ගොඩනැගීම ඇතුළු මෙම ගැටළුව සම්බන්දයෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් යුතු තිරසාර උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට  සමාගම අපේක්ෂා කරයි.

පැල්වත්ත සමාගම සුවිසල් සමාජ හා ආර්ථික වටිනාකමකින් හෙබි සමාගමක් වශයෙන් කිරි ගොවීන් සහ ඔවුන්ගේ පවුල් මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය සහ සමස්තයක් ලෙස රට වෙනුවෙන්ම සිය නොසැලෙන සහයෝගය ලබා දෙනු ලබයි.  කිරි ගොවින් මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි  අධිකාරිය විසින් පනවා ඇති සීමාවන් පිළිබඳව කනස්සල්ලෙන් පසුවන අතර එම ප්‍රදේශයේ කිරි කර්මාන්තය අස්ථාවර වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් මෙම ගැටලුව නිරාකරණය කරලීම උදෙසා පැල්වත්ත කිරි සමාගම රජයෙන් සහ අදාළ බලධාරිගෙන් අවශ්‍ය සහය බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාවේ කිරි ගොවින් ගෘහස්ථ සහ නිදහස් යන දෙයාකාරයටම ගව පාලනය සිදු කරති. ගෘහස්ථ ගොවිපලවල සාමාන්‍යයෙන් ගවයන් කිහිප දෙනෙකු ඇති කෙරෙන අතර ගෘහ ආශ්‍රිත මඩු සහ තණබිම් මේ සඳහා භාවිතා කෙරේ. නිදහස් ගව පාලනයේ යෙදෙන ගොවීන්ගේ කිරි නිෂ්පාදන පරිමාව අනුව සිය ගණනක් ගවයින් පාලනය කිරීමට සිදු වන අතර ඒ සඳහා විශාල ඉඩම් හෝ තණබිම් අවශ්‍ය වේ.

මහවැලි අධිකාරිය යටතේ පවතින ඉඩම් පශු සම්පත් සංවර්ධනය සඳහා භාවිත කිරීමට කිරි ගොවීන්ට පහසුකම් ලබා දී තිබුන ද ඒ සඳහා ක්‍රමවත් සහතික වීමක් නොමැති වීම හේතුවෙන් කිරි ගොවින් සිය කර්මාන්තය අත්හැර දැමීමේ ප්‍රවණතාවයක් උද්ගතව ඇත. විශේෂයෙන් ගවයන් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවලට ඇතුළු වූ විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ නියාමන ගැටළු වලට මුහුණ දීමටත් දැඩි නීති රීති බලාත්මක කිරීම් වලට යටත් වීමටත් ගොවීන්ට සිදුව ඇත. මෙම ගැටළුව රඹකැන්ඔය, පොල්ලේබැද්ද, කන්දේගම, මාදුරුඔය ප්‍රදේශවල පොදු ගැටළුවක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් ගොවින් විශාල පීඩාවකට සහ කැළඹීමට පත්ව තිබේ.

මේ පිළිබඳව ගැටළුවට මුහුණ දෙමින් සිටින ගොවීන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කරයි. “ අපට ලබා දෙන බවට පොරොන්දු වුවත් එසේ ලබා නොදී තිබෙන ඉඩම් වල අපගේ 2000කට වැඩි ගවයින් පිරිසක් අතරමංව සිටිනවා. මාසයකට වැඩි කාලයක් තිස්සේ අපට ගවයින් සිටින ප්‍රදේශයට යාමට අවසර ලබා දී නැහැ. මේ හේතුවෙන් පැටවුන්ට කිරි නොමැති වීමෙන් සහ කිරි ලබා නොගැනීම හේතුවෙන් ගවයින් අසනීප වීම සිදු වෙනවා. මේ පිළිබඳව පශු වෛද්‍යවරු පවා සඳහන් කර තිබෙනවා. එම නිසා අපගේ ගවයින් වෙත යාමට හැකි ඉක්මනින් අවස්ථාව ලැබේයැයි බලාපොරොත්තු වෙනවා.’’

ඉදිරි වර්ෂය සඳහා මෙවර ඉදිරිපත් කරන ලද අයවැය මඟින් සාර්ව ආර්ථික දැක්මක් යටතේ අංශ කිහිපයක් ආවරණය වන අතර දේශීය කර්මාන්තවලට වැඩි වටිනාකමක් සහිතව අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. දේශීය හා ගෝලීය ආර්ථිකයේ තරඟකාරී පසුබිම තුළ සැරිසැරීමට මෙම විශේෂ ආයෝජන ක්‍රම උපකාරී වනු ඇත. එපමණක් නොව, පොදු දේපළ හා මූල්‍ය ප්‍රතිපත්ති මගින් මෙම අංශය තවත් ස්ථාවර කිරීමටත් ඊට සම්බන්ධ ගොවීන්ට සහාය වීමටත් සිදු කෙරෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මහඔය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවුල් 500කට අධික සංඛ්‍යාවක අදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ කිරි ගොවිතැනය. නමුත් මෙම අංශය ආශ්‍රිත අතිරේක සහ උපකාරක සේවාවන් සලකා බැලීමේදී කිරි ගොවිතැනෙන් යැපෙන පිරිස තවත් ඉහළයයි. පාරිභෝගිකයින්ට සහ සමස්ත ආර්ථිකයටම කිරි කර්මාන්ත ක්ෂේත්‍රයේ දායකත්වය බෙහෙවින් කැපී පෙනේ. නමුත් මෙම දුෂ්කර කාලයේ  දේශපාලන, තාක්‍ෂණික, පාරිසරික හා සමාජ ආර්ථික සාධක කිහිපයක් හේතුවෙන් බොහෝ පවුල්වල වර්ධනය අඩාල වී තිබේ.

පැල්වත්ත කිරි සමාගමේ සාමාන්‍යධිකාරී ලක්සිරි අමරතුංග මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, ‘පැල්වත්ත කිරි සමාගම සෑම විටම රටේ යහපැවැත්මට සහයෝගය ලබා දී ඇති අතර ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් කිරි නිෂ්පාදන පිරි නමමින් ජාතිය පෝෂණය කිරීමේ දැක්ම අනුව කටයුතු කර තිබේ. මෙය කළ හැකි වූයේ අපගේ කිරි ගොවීන්ගේ උත්සාහය හා සහයෝගය නිසා පමණක් වන අතර, ඔවුන් වෙනුවෙන් අපගේ සහයෝගය ලබා දෙන බව සහතික කරන අතර ඒ සඳහා බලධාරීන් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹීමට අපි බලාපොරොත්තු වනවා.’ යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *