රාජ්‍ය නොවන සංවිධාන ලෙස ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු ජන කණ්ඩායම් වල නොයෙක් ගැටළු සම්බන්ධව කටයුතු කරන LEADS, Save the Children International සංවිධානය සහ World Vision Lanka ආයතනය ශ්‍රී ලාංකික දරුවන් වෙත අන්තර්ජාලය හරහා එල්ල වන අපයෝජන, තර්ජන, සහ හිංසන වලට තිත තැබීමේ ක්‍රියාවලියක් සඳහා එකමුතු වී කටයුතු කරයි. මෑතක දී මෙම එකමුතුව, අන්තර්ජාල ආරක්ෂාව සහ එහි වැදගත්කම සම්බන්ධයෙන්  පාසල් වයසේ දරු දැරියන් සඳහා සකස් කරන ලද සයිබර්  ඉගැන්වීම් වැඩසටහනක් දියත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම සයිබර් ඉගැන්වීම් පාඨමාලාව 2020 ජූලි මස 22 වෙනිදා සිට සියලූම පාසල් දරුවන් වෙත භාෂා ත්‍රිත්වයෙන් ම කිසිදු අය කිරීමකින් තොරව  විවෘත ව පවතියි. එ්වගෙම මෙම පාඨමාලාව අවසන් කරන සෑම  දරුවෙකුටම වටිනා e -සහතිකයක් ලබාගත හැකිය.

පාසල් කටයුතු වලට උදව් ලබා ගැනීමට, වීඩියෝ ක්‍රීඩා වල නිරත වීමට මෙන්ම මිතුරු මිතුරියන් සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වීම කෙරෙහිද අන්තර්ජාලය දරුවන් සඳහා මහඟු තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අවාසනාවකට මෙන්, මෙවන් සොඳුරු පැතිකඩ මෙන්ම, ළමා අපයෝජකයන්, අනන්‍යතා මංකොල්ලකරුවන්, සහ වෙනත් එවැනි බලපෑම් සිදු කල හැකි පුද්ගලයින් හමුවීම මෙන්ම එවැනි සිද්ධි වලට ගොදුරු වීමේ අඳුරු සම්භාවිතාවය ද අන්තර්ජාලය හරහා එක ලෙස ලැබෙයි. එනිසාම අන්තර්ජාලය තුළ ගත කරන කාලය ඵලදායී ව ගත කිරීමට මෙන් ම ඉහත කී ආකාරයේ අනතුරු වලින් වැළකී සිටීම සඳහා ද නව යොවුන් පරපුර දැනුම්වත් ව සිටීම අත්‍යවශ්‍ය වේ. අන්තර්ජාලය අද වන විට ලොකු කුඩා සියලූ දෙනා ගේ එදිනෙදා ජීවිත සමඟ දැඩි ලෙස සම්බන්ධ ව ඇති හෙයින් මෙය යුගයේ දැඩි අවශ්‍යතාවයක් බවට පත් ව තිබේ. ජාත්‍යන්තර පොලිසිය මෙන්ම ලොව පුරා ළමා ආරක්ෂණ සංවිධාන විසින් සොයා ගෙන ඇති ආකාරයට, මෙම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අන්තර්ජාලය හරහා දරුවන් අපයෝජනයට ලක් වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර WeProtect Global Alliance සංවිධානයට අනුව පැවති ලොක්ඩවුන් තත්වය අන්තර්ජාලය හරහා ළමයින්ට එරෙහි ලිංගික සූරාකෑම සහ වෙනත් ආකාරයේ හිංසනයන් සඳහා වූ මංපෙත් තවත් විවර කර ඇත . ඒ නිසා, පෙරටත් වඩා දරුණු ලෙස මෙන් ම පෙර නොවූ විරූ ආකාරයන්ගෙන් ද අන්තර්ජාල හිංසන සහ අපරාධ පිළිබඳ වාර්තා ලැබී ඇත.

බොහෝ දරුවන් සිතා සිටින්නේ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක් තමන් සතු වන බවයි. කෙසේ නමුත්, තම තමන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් වල පසු විපාක විසින් ඇතැම් විට ඇති කල හැකි භයානක ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔවුනට ඇත්තේ සීමිත දැනුමකි. මෙවැනි අනතුරු, දරුවන් ගොදුරු ලෙස යොදාගෙන මුල්‍යමය වාසි සලසා ගන්නා  අන්තර්ජාල හිංසකයින්, ළමා අපයෝජකයන්, අන්තර්ජාල ලූහු බඳින්නන් වැනි නොයෙක් වේශයන් ගෙන් පැමිණෙයි. පශ්චාත් නිරෝධායන වටපිටාවක් තුළ දරුවන්ගේ අන්තර්ජාල භාවිතාව ඉහළ යාම සුරක්ෂිත අන්තර්ජාල භාවිතාවක් කෙරෙහි දරුවන් බල ගැන්වීමේ තදබල අවශ්‍යතාවය මතු කළේය. ඒ හේතුවෙන් මෙම එකමුතුව සයිබර් ඉගැන්වීම් පාඨමාලාවක් සකස් කරන ලද්දේ නොමිලේ මෙම දැනුම දරුවන් අතර බෙදා දීම උදෙසා ය. 

මෙම පාඨමාලාව මගින් ප්‍රධාන කරුණු බොහොමයක් ආවරණය කෙරෙන අතර අන්තර්ජාලය සහ එහි ප්‍රයෝජන, අන්තර්ජාලය තුල අපගේ පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු, ඡායාරූප ආදිය අන්තර්ජාල මාධ්‍යයක පල කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මෙන්ම, අන්තර්ජාල හිංසනයට විරුද්ධව නැගී සිටීම, phishing සහ අනෙකුත් ආකාර වල අන්තර්ජාල වංචා වලට හසු නොවී සිටින්නේ කෙසේද යන්න, මෙන්ම, වගකිවයුතු අන්තර්ජාල භාවිතයක් ඇති කර ගන්නේ කෙසේද යනාදී කරුණු මෙහි දී අවධානයට ලක් කෙරේ. මෙම මුළු පාඨමාලාව පුරා ම සජීවීකරණය කරන ලද පාඩම් මාලා සහ සැබෑ ජීවිතයේ අත්දැකීම් නිරූපනය කෙරෙන නාට්‍යානුසාරමය සිද්ධි ඇසුරෙන් නිර්මාණය කර ඇති නිසා මෙම ඉගෙනුම් අත්දැකීම දරුවන් හට අන්තර්ජාල සුරක්ෂිතතාව පිලිබඳ පූර්ණ අවබෝධය ලබා දෙයි. අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන e-තක්සලාව වෙබ් අඩවිය ඔස්සේ මෙම පාඨමාලාව සිංහලල දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම නොමිලේ පවත්වාගෙන යනු ලැබෙයි. තරුණ පරපුරේ දරුවන්ගේ පහසුව තකා ම මෙම පාඨමාලාව ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක හරහා ද පහසුවෙන් ගනුදෙනු කල හැකි වන පරිදි නිර්මාණය කර තිබේ.

ඔබ දෙමාපියෙකු හෝ ගුරුවරයෙකු නම් ඔබේ දරුවන් මෙම වැඩසටහනට ලියාපදිංචි කරවීම මගින් අන්තර්ජාල ලෝකය සම්බන්ධයෙන් ඔබේ දරුවන්ට අවශ්‍ය පූර්ණ මග පෙන්වීම ලබා දිය හැකි වෙයි. එමගින් අන්තර්ජාල භාවිතයේදී වඩාත් නුවණැති ලෙස කටයුතු කරන්නට ඔවුන් හුරු වනු ඇත.

මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ, අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සමඟ  අත්වැල් බැඳ ගත් LEADS, Save the Children International සංවිධානය සහ World Vision Lanka ආයතනය යන එකමුතුව විසිනි.

අවසානයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *