අන්තර්ජාතික වශයෙන් ළමා දිනය සැමරීමේ සැබෑ අරමුණ අනුව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිළිබඳ අර්බුදය අවසන් කිරීම සඳහා කැප වන ලෙසට ‘ළමා හිංසනයට තිත පදනම’ (SCC) මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කෙරිණි. ඔක්තෝබර් මස 1 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන්, ජනාධිපතිවරයා වෙත පෙත්සමක් භාර දෙමින් එම සංවිධානය විසින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය වෙනුවෙන් කැපවූ සංවිධානයක් වන ‘ළමා හිංසනයට තිත’ පදනම අඛණ්ඩව වසර ගණනාවක් පුරා  ළමුන්ට එරෙහි හිංසන නැවැත්වීම සඳහා ප්‍රබල හඬක් නගන සංවිධානයකි. විශේෂයෙන්, ළමුන්ට එරෙහි ශාරීරික දඬුවම් නැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ (OHCHR) ලියා පදිංචි කර ඇති එකම සංවිධානයද එය වන අතර,  එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ (UNCRC) සමාලෝචන කණ්ඩායමේද ප්‍රධාන පාර්ශවකරුවෙකි.

ඔක්තෝබර් මස 1 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය, දරුවන්ට සාමකාමීව වැඩීමට හැකි,‍ අසීමිත ජයග්‍රහණ ළඟාකර ගත හැකි මෙන්ම, ගෝලීය පුරවැසියන් ලෙස පරාර්ථකාමී ලෙස කල්ගෙවීමට හැකි ප්‍රීතිමත් හා ආරක්ෂිත රටක සැමරුම් දිනයක් විය යුතු බව ළමා හිංසනයට තිත පදනම විශ්වාස කරයි.

පසුගිය දශකය තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ සිරවී ඇති ළමා අපයෝජන 20,000 අධික සංඛ්‍යාවක් හා 2020 මුල් මාස 6 තුළ වාර්තා වූ ළමා ලිංගික අපයෝජන සිද්ධීන් 5292 ක් ආදී වශයෙන්, ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳ රජයේ සංඛ්‍යාලේඛන මගින් තහවුරු කෙරෙන විට, ලෝක ළමා දිනය අවංකව සැමරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇත්දැයි එම පදනම ප්‍රශ්න කර සිටියි. ශ්‍රී ලංකාව තුළ සෑම දෙක පැය දෙකකට වරක්ම, ළමයෙකු ලිංගික අතවරයට ලක් වේ.

1991 වසරේ දී, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට (UNCRC) අත්සන් තැබුවේද, රටේ ළමා පරපුර සෘජුවම ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමිනි. තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කළ 2015 වසරේ පටන්, 2030 තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූලව ළමා සුභසාධනය ළඟාකර ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටී. එහෙත්, 1998 අංක 50 දරන පනත මගින් ජාතික ළමා රක්ෂණ අධිකාරිය පිහිටවූවද, ශ්‍රී ලංකාවේ තවමත් ළමා ආරක්ෂණය සුරක්ෂිත කෙරෙන නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොමැත. පත්වන රජයන් විසින් ගන්නා යම් යම් ක්‍රියාමාර්ග තිබුණද, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් රජය දක්වන උදාසීන ප්‍රතිපත්තිය හේතුවෙන්, ශ්‍රී ලංකාවට 2018 පෙබරවාරි මාසයේදී, එක්සත් ජාතින්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව, රතු අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.

මෙවැනි කරුණු හේතුවෙන්,‍ ළමා ආරක්ෂණයේ සැබෑ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවන ලෙස ඉල්ලමින්, ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකගේ අත්සන් සහිත පෙත්සම් තුනක් සහ ළමුන්ගේ වීඩියෝ පණිවිඩයක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට ළමා හිංසනයට තිත පදනම මගින් කටයුතු කෙරිණි. එමෙන්ම, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට සැබෑ ලෙසම කැප වන ලෙසත්, එම පදනම ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකව ආයාචනය කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින්, ළමා හිංසනයට තිත පදනමේ අනුග්‍රාහකයින් වන නෝබල්ස් සමාගම් සමූහයේ සභාපති හා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික සිදත් වෙත්තමුණි මහතා සහ ඔටාරා පදනමේ අධ්‍යක්ෂිකා ඔටාරා ගුණවර්ධන පවසන්නේ, “ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ස්වාධීන අධිකාරියක් බවට පත් කර ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරමින්, ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය දින 90 ක් වැනි කාලයක් තුළ කඩිනමින් අවසන් කළ යුතු බවයි.

එම ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනිය, ‍වෛද්‍ය තුෂ් වික්‍රමනායක ඉල්ලා සිටින්නේ, ළමා  අපයෝජන සිද්ධීන් හා ළමා ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් වැරදිකරුවන් විධායකය මගින් නිදහස් කිරීමෙන් වළකින ලෙසයි.

ළමුන්ට පෙර පාසල් වයසේ සිට නිසි ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කරන ලෙස  අධ්‍යාපන විධායිකා, ශාන්ති විජේසිංහ යෝජනා කර ඇති අතර, ළමා ආරක්ෂාව ජාතික ආරක්ෂාව සේ සලකා ළමුන්ට එරෙහි ශාරීරික හිංසන සහ වෙනත් ආකාරයේ අපයෝජන තුරන් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය සංශෝධන එක් කරන ලෙසට නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය ඉල්ලා සිටියි.

ඊට එක්වෙමින් පර්යේෂණ නිලධාරිනී, ටිකිරි විෆ්ලර් හා මාධ්‍යාවේදී ගයාන් ගාල්ලගේ ඉල්ලා සිටින්නේ, ජාත්‍යන්තර පාසල් නියාමනය කරමින්, පාසල්වල ශාරීරික දඬුවම් වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති 12/2016 චක්‍රලේඛයට හා අදාළ අනෙකුත් චක්‍ර ලේඛයන්ට අනුව සෑම පාසලක්ම ක්‍රියා කරන බවට අධීක්ෂණය කරන ලෙසත්, අපරාධ වල වින්දිතයන් බවට පත්වන ළමුන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා නීති ක්‍රියාත්මක කරන ලෙසත්ය.   

මානව හිමිකම් ක්‍රියාකාරී අරිත වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ, ළමා හිංසන සිද්ධීන්වල වින්දිතයින් අපරාධකරුවන් ලෙස සැලකීමෙන් වළකින ලෙසත්, ළමා දූෂණය ඇප රහිත වරදක් ලෙස සලකන ලෙසත්ය.

ළමා හිංසනයට තිත පදනම, ළමා ආරක්ෂණ අර්බුදය පිළිබඳව නිරන්තරයෙන් බලධාරීන් හා අදාළ අනෙකුත් පාර්ශව දැඩි ලෙස දැනුවත් කරන අතරම, රටේ අනාගත හිමිකරුවන් වන ළමයින් සඳහා සතුටුදායක හා ආරක්ෂිත රටක් සුරක්ෂිත කිරීම පිණිස, ජනාධිපතිවරයා සහ රජය සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

ළමා හිංසනයට තිත පදනම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.stopchildcruelty.co‍m වෙබ් අඩවිය හා [email protected] වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *