ජාතික විදුලි බල සැපයුම වර්ධනය කිරීම සඳහා වන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ, පැකේජ් 05 උප ව්‍යාපෘතිය සඳහා සීමන්ස් – ඩීමෝ එකතුව , ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදු විය. මෙයට සමගාමිව  පැකේජ් 04 උප ව්‍යාපෘතිය ද සීමන්ස් – ඩීමෝ එකතුව වෙත 2020 වර්ෂයේ පළමු කාර්තුවේ දී ලබා දීම විශේෂත්වයකි.

ශ්‍රී  ලංකාව තුළ වාර්ෂික විදුලි බල ඉල්ලුම සියයට 5-6 අතර ප්‍රමාණයෙන් වර්ධනය වන අතර, මෙම ඉහළ වර්ධනයට අවශ්‍ය සැපයුම සපුරාලීම සඳහා විදුලි බල උත්පාදන ප්‍රභවයන් මෙන් ම සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පහසුකම් ද වැඩි දියුණු  කර ශක්තිමත් කිරීම ඉතා වැදගත් වනු ඇත. 

මධ්‍යම වෝල්ටීයතා බෙදා හැරීම් පද්ධති යනු, බල බෙදා හැරීම් ජාලයේ කොඳු නාරටිය වන අතර එය සම්ප්‍රේෂණ ජාලය (Transmission network) සහ පාරිභෝගිකයින්ට බල සැපයුම සපයන LV බෙදාහැරීමේ ජාලයේ (LV Distribution network)  අතුරු මුහුණත ලෙස සැළකිය හැකිය. එබැවින් නියමිත මෙහෙයුම් ප්‍රමිතීන්ට හා සම්මතයන්ට අනුකූල  වඩාත් විශ්වාසනීය සහ ගුණාත්මක බල බෙදාහැරීමේ පද්ධතියක් රට තුළ සංවර්ධනය කිරීම,  ඉහළ යන විදුලි ඉල්ලුමට සාර්ථක ලෙස බල සැපයුම ලබා දීමට ඉවහල් වනු ඇත. 

ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියේ  “පැකේජ්  04 සහ 05 උප ව්‍යාපෘතීන් හරහා ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඩීමෝ හට දායකත්වය දැක්වීමට හැකි වීම පිළිබඳ සතුටට පත් වනවා. මෙම ව්‍යාපෘතිය රටේ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන ඒකකයක්  වනවා මෙන් ම, මේ තුළින් ශ්‍රී ලංකාව තුළ වඩාත් කාර්යක්ෂම හා විශ්වාසදායක විදුලි බල සැපයුමක් නිර්මාණය කිරීමට ඉහළ දායකත්වය ලැබෙනු ඇති බවයි. ”

මෙම ව්‍යාපෘතියේ පැකේජ් 05 මඟින් ඇතුල්කෝට්ටේ ප්‍රාථමික උපපොළ වැඩි දියුණු කිරීම හරහා බත්තරමුල්ල, වැලිකඩ සහ කළුබෝවිල යන ප්‍රදේශ සඳහා ඉහළ මෙහෙයුම් නම්‍යශීලීත්වයකින් යුත්  ජාතික විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලයක්  දියුණු කිරීම සහ බෙදාහැරීම් ජාලයන් ස්වයංක්‍රියකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.  LECO විසින් මෙහෙයුම් සිදු කරනු ලබන නුගේගොඩ, බොරලැස්ගමුව සහ මහරගම ප්‍රදේශවල නගර සංවර්ධන අවශ්‍යතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ යෝජිත අධ්‍යාපන කලාපයේ බල ඉල්ලුම් අවශ්‍යතා සපුරාලීම සඳහා රත්නපිටිය නව ප්‍රාථමික උපපොළ ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියේ කොටසකි.  තවද ගාල්ල, දඩැල්ල,  කරාපිටිය ප්‍රදේශවල බල සැපයුම වර්ධනය කිරීම සඳහා සහ දකුණු පළාතේ MV ජාලය සඳහා ඉහළ මට්ටමේ විශ්වාසනීයත්වයක් සහ මෙහෙයුම් නම්‍යශීලීත්වයක් ලබා දීමේ අරමුණින් බෙලිගහ  ප්‍රාථමික උපපොළ වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය හා සීමන්ස් – ඩීමෝ එකතුව යන දෙපාර්ශවය අතර එකඟතා ගිවිසුම අත්සන් තැබීම ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානයේදී සිදු කෙරිණි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, නියෝජ්‍ය සභාපති, වයි. ජී. අයි සමන් කුමාර, ලංකා විදුලි බල මණ්ඩලයේ බෙදාහැරීමේ අංශ 4 හි අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනවිරත්න,  ඩීමෝ හි අධ්‍යක්ෂ සරත් අල්ගම, ඩීමෝ හි  අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල, සීමන්ස් හි ශ්‍රී ලංකා ප්‍රධානී ප්‍රසාද් පල්සෝකර්, බෙදාහැරීම් අංශ 4හි  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සැලසුම් හා සංවර්ධන) එන්.යූ. පෙරේරා ,  ලංකා විදුලි බල මණ්ඩලයේ (GPDEEIIP-Tr2- Package 05) ව්‍යාපෘති කළමනාකාර පී.පී. බී සමරසේකර, ඩීමෝ හි බලශක්ති ඉංජිනේරු ව්‍යාපෘති ප්‍රධානී දසුන් අරන්දරගේ සහභාගී විය.

සීමන්ස් – ඩීමෝ එකතුව දශක හතකට වැඩි කාලයක් පුරා නවීන තාක්ෂණයන් සහ හොඳම විසඳුම් සමග රට තුළ විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීමේ ව්‍යාපෘති සඳහා අඛණ්ඩව වටිනාකමක් එක් කරයි. පුනර්ජනනීය බලශක්තිය, මයික්‍රෝ ග්‍රිඩ් සහ ස්මාර්ට් ග්‍රිඩ් වැනි විසඳුම් මගින් ඩීමෝ තිරසාර බලශක්ති සඳහා මග පාදන අතර එමගින් හරිත බල ශක්තිය සඳහා වන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට පිටිවහලක් ද සැපයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *